මානව ඉතිහාසය අලුතින් ලියැවෙන සොයා ගැනීමක් කරන්නට ඇමරිකන් විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ විස්මිත පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන ඇත්තේ ඔරෙගන් ප්‍රාන්තයේ ගල් ගුහාවකිනුයි. ඒ මෙතෙක් සොයා ගෙන ඇති පැරණි ම ඇඳුම්වල ශේෂයන් වන අතර ඒවා අවසාන හිම යුගයේ අවසානයට අයත්, අවුරුදු 12,000කට පමණ පෙර සත්ව සම් යොදා ගෙන මිනිසා විසින් කරන ලද නිර්මාණ ලෙස සැලකෙනවා.
මෙම සොයාගැනීම්වලට, සාමාන්‍යයෙන් කාලයත් සමඟ විනාශ වන සත්ව සම් වැනි ද්‍රව්‍ය වලින් නිපදවා ඇති පුරාණ භාණ්ඩ එකතුවක් ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, එම වස්තු ඔරෙගන් ප්‍රාන්තයේ උතුරු ග්‍රේට් බේසින් ප්‍රදේශයේ වියළි ගුහා කිහිපයක සැඟවී තිබූ අතර, ඒ නිසා ඒවා හොඳින් සංරක්ෂණය වීමට හේතු වන්නට ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
මෙතෙක් කල් විද්‍යාඥයන් විශ්වාස කළේ වර්තමාන ඇමරිකා එක්සත් ජනපද භූමියේ පුරාණ මනුෂ්‍යයන් සරල දඩයම්කරුවන් හා ආහාර එකතුකරන්නන් පමණක් වූ බවයි. නමුත් මේ නව පුරාවස්තු සොයාගැනීමත් සමඟ සියල්ල වෙනස් වී තිබෙනවා.. මැසුම් යොදා කරන වියමන්, ඇතුළත් ඇඳුම්, වැල් ගොතා කළ බාස්කට්, සහ ලීයෙන් සාදන ලද දඩයම් උගුල් වැනි උසස් තාක්ෂණික කුසලතා ඒ කාලයේ පැවති බවට හොඳින් සංරක්ෂිත සාක්ෂි හමු වී තිබෙනවා.
නෙවාඩා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ රිචර්ඩ් රෝසන්ක්‍රෑන්ස් සහ ඔහුගේ කණ්ඩායම තමයි, ඒ අපූරු සොයා ගැනීම කර ඇත්තේ. ඊට ශාක සහ සත්ව වර්ග 15කින් නිපදවූ නිර්මාණාත්මක භාණ්ඩ 55ක් ඇතුළත් වෙනවා. මේ අධ්‍යයනයේ ප්‍රධානියා ලෙස ඔහු කියන්නේ මේවා ස්ථිරවම ආදී මිනිසා විසින් මසන ලද ඇඟලුම් කොටස් හෝ පාදවල ආරක්ෂාවට සකසා ගත් ඒවා බවයි.
රෝසන්ක්‍රෑන්ස් සඳහන් කරන්නේ මේ සොයා ගැනීම ඉතිහාසයේ හිස් තැන් පිරවීමට උපකාරී වන බවයි. එනම් වසර 10,000කට පෙර පැවති හෝලෝසීන යුගයට කලින් තිබූ ආදි නාගරික සංස්කෘතින් මතුවීමට පෙර කාලයේ, උතුරු ඇමරිකාවේ හිම යුගයේ මිනිසුන් පරිසරයට අනුව හැඩගැසෙමින් නවෝත්පාදනවලට පවා යොමූ බවත්, දිනපතා භාවිත කළ ද්‍රව්‍ය හුදෙක් බුද්ධිමත්ව භාවිත කළ බවත් මෙයින් සනාථ වෙනවා කියායි.
මේ සොයාගැනීම්වල ප්‍රම්‍රඛ ඒවා හමු වී ඇත්තේ ඔරෙගන් දකුණු ප්‍රදේශයේ පිහිටි Cougar Mountain ගුහාවෙන් වන අතර, එහිදී පැරණිතම මැහුම් යොදා නිම කර ගත් සත්ව සම්, සහ බහුලව සොයාගත් ගැට ගැසූ නූල්, ලීයෙන් සාදන ලද උගුල් කොටස් හා බාස්කට් හමු වී තියෙනවා.
එසේ ම මධ්‍යම ඔරෙගන් ප්‍රාන්තයේ පේස්ලි (Paisley) ගුහා වලින් ද, නිපද වූ ශාක නූල්, එකට බැඳ නිපදවූ ව්‍යුහ විය හැකි වස්තු, සහ මැසීම සඳහා භාවිත කළ පැරණිතම අස්ථි ඉදිකටු කිහිපයක් ද හමු වී තිබෙනවා.
ඒ ආසන්නයේ පිහිටි කොන්ලි (Conley) ගුහා සහ Tule Lake Rock shelter වැනි ස්ථානවල ද, හිම යුගයේ එකම කාල පරාසයට අයත්, කුඩා ඇසකින් යුත් නිපුණව සාදන ලද අස්ථි ඉදිකටු හමු වී ඇති අතර, ඒවා මගින් උසස් මට්ටමේ සිව් කිරීමේ කුසලතා පැවති බව පෙන්නුම් කරයි.
මෙම ගුහා වසර 12,000කට පෙර ආහාර සොයා ගමන් කළ ආදි දඩයම්කරුවන් හා ආහාර එකතුකරුවන්ගේ ප්‍රධාන ආරක්ෂිත වාසස්ථාන ලෙස ඒවා භාවිත කර තිබෙනවා.
මේ කෝගර් කඳුකර ලෙනෙහි (Cougar Mountain Cave) කෞතුක වස්තු මුල්වරට 1958දී ජෝන් කෝලස් (John Cowles) නම් පුරෝගාමී පුරාවිද්‍යාඥයෙකු විසින් මුල්වරට සොයා ගෙන තිබුණා. ඒ වගේම ඔහු එහි කැණීම් ද කර තිබුණා.
ඒ මහතා 1980 දශකයේ මිය ගිය පසු, කෝගර් කඳුකර ලෙනෙහි ඔහුගේ එකතුව ෆේවල් කෞතුකාගාරයට භාර දුන්නා. එය පිහිටා ඇත්තේ ඔරෙගන් ප්‍රාන්තයේ ක්ලැමත් ෆෝල්ස් නගරයේයි. එදා සිට ඒවා සුරක්ෂිතව එහි තැන්පත් කර ප්‍රදර්ශනය කෙරෙනවා.
පේස්ලි හා කොන්ලි ලෙන්වල සහ අනෙකුත් ස්ථානවලින් සොයාගත් පුරාවස්තු කාලයත් සමඟ වෘත්තීය පුරාවිද්‍යාඥයන් විසින් කැණීම් කර සොයා ගෙන ඇති අතර, ඒවා ඔරෙගන් ප්‍රදේශය පුරා පිහිටි විශ්වවිද්‍යාල කෞතුකාගාර හෝ පර්යේෂණ එකතුවල සුරක්ෂිතව තබා තියෙනවා.
Science Advances හි ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය මගින් පැරණි එකතු කිරීම් නැවත පරීක්ෂා කරමින්, රේඩියෝකාබන් දිනය නිර්ණය කිරීම වැනි නවීන විද්‍යාගාර පරීක්ෂණ භාවිතා කර ඒවා සැබෑ වශයෙන්ම කොපමණ පැරණිද සහ කෙතරම් උසස්ද යන්න සනාථ කර ගෙන තියෙනවා.
අලුතින් කාලනිර්ණය කළ වස්තු අතර, පිරිසිදු කර, රෝම ඉවත් කර, ශාක තන්තුවලින් සහ සත්ව රෝමවලින් සාදන ලද නූල් භාවිතා කර සිව් කළ එල්ක් සත්ව සමක කොටසක් ද ඇතුළත් විය.
පර්යේෂකයන් පවසන්නේ ඒ එකක් සිරුරට හිරට මැසූ කබායක්, සපත්තුවක් හෝ බෑගයක් ලෙස භාවිත කර තිබිය හැකි බවයි. එය මෙතෙක් සොයාගත් සත්ව සමකින් මැසූ පැරණිතම නිදර්ශනය ලෙස සැලකිය හැකි බවයි.. එමෙන්ම, බයිසන් සත්ව සමින් කපා ගත් පටි කිහිපයක් ද හමු වී ඇති අතර, ඒවා නූල් ලෙසින් මසන්නට හෝ පටි ලෙසින් බඳින්නට පාවිච්චි කරන්නට ඇතැයි සිතිය හැකි බවයි.
එසේම, සේජ්බ්‍රෂ් වැනි ගස්වල පොත්තෙන්, ලබා ගත් කෙඳිවලින් ඇඹරූ නූල්, ලණු හා කඹ හමු වී ඇති අතර ඒවා යම් යම් දේ මැසීමට හෝ බැඳීමට හෝ විවිධ කාර්යයන් සඳහා භාවිත කරන්නට ඇතැයි පර්යේෂකයන්ගේ විශ්වාසයයි.
ඒවා අතරින් කිහිපයක් ගැට දමන්නටත්, පැදුරු හෝ මලු විවීමට භාවිත කර තිබෙනවා. මේවා දැන් විද්‍යාඥයන් සලන්නේ ඇමරිකාවේ පැරණිතම නිමැවුම් ලෙසයි.
ඔරෙගන් (Oregon) ප්‍රාන්තයෙන් ලැබුණු මෙම නව හෙළිදරව්ව නිසා දැනට පිළිගෙන ඇති පරිදි, මිසර නාගරික සංස්කෘතිය බිහිවන්නට බොහෝ කලකට පෙර, වර්තමාන ඇමරිකා එක්සත් ජනපද භූමියේ, උසස් මනුෂ්‍ය සමාජයක් ජීවත් වූ බව තහවුරු වන්නේ යැයි පුරාවිද්‍යා ගවේෂකයන් කියනවා.
තවද, ජනවාරි මාසයේ තවත් පර්යේෂක කණ්ඩායමක් විසින් විස්කොන්සින් (Wisconsin) ප්‍රාන්තයේ වැවක් පතුලේ තිබී, පිරමීඩ ඉදිකිරීමට වසර සිය ගණනකට පෙර කාලයට අයත් බව සැලකෙන, මෙතෙක් හෙළි නොවූ දැව ඔරු (canoes) කිහිපයක් ද සොයාගෙන තියෙනවා.

0 Comments